දාඩිය විකුණන හොර මැර නැති අප – අකල් මරණ ගැන නැත දන්නේ

වැස්ස තාමත් ඉවර නෑ. වැහි දාහක් වැස්සත්, ගංගා සේරම පිටාර ගැලුවත් කමක් නෑ අහිංසකයන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න නොවී. එහෙම කියන්න හිතුනෙ වතුරෙ ගහගෙන ගිහිල්ලා නැති වුනු අ‍ම්මෙකුයි පුංච් දුවෙකුගෙයි කතාවක් අද පත්තරෙන් දැකපු නිසා.

ඒ කතාව කියවලා හුස්මක් ගන්න කලින් තවත් නරක ආරංචියක්. පාසැල් වෑන් රථයක් පුද්ගලික බස් රථයක හැපිලා. ඒත් කමක් නෑ අර පුංචි දරුවන්ට කරදරයක් නොවුන නම්. ඒත මෙ වෙනකොටත් එක පැටියෙක් නැති වෙලා‍, තව පුංචි දරුවො ගාණක් ලේ පිටින් රෝහල් ගත කරලා. උදේ පාන්දර ආදරෙන් ලෑස්තිකරලා මූණ ඉඹලා පාසැල් යවපු දරුවො මෙහෙම බලන්න මොන අම්ම අප්පද කැමති?

මේ ගැන හිතෙනකොට කපුගේගෙ සින්දුවක් මතක් උනා. මේ ගීය ගැන එක එක විවේචන මම අහලා තියෙනවා. ඒ කොහොම උනත් දරුවෙක් ඉන්න ඕනෙ කෙනෙක්ගෙ හිත කම්පනය කරන පද වැලකුත් තාලයකුත් එක්ක කපුගේ අයියගෙ කටහඩේ තියෙන අපූර්වත්වයත් නිසා අද සටහන ඒ සින්දුවෙන් ඉවර කරන්න හිතුවා.

හන්තානේ කඳු දණ ඇන නමදින – සිරිදළදා හාමුදුරුවනේ
ඔබවහන්සෙ ළඟ ඉගෙනගන්න ගිය – මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවට අන්දා ඇස්දෙක පියවා – ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර
දෙනවද මතු බුදුවන හාමුදුරුවනේ //

ඇදුරිඳුනේ මේ සැතපෙන දරුවා – ලෙඩට බේත් නැති කෙනෙකුන් දෝ
වනන්තරේ වැදි සෙනගට අහුවුණ – මරුවැල පෑගුණ කෙනෙකුන් දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙළෙසද – ලෙඩකින් දුකකින් නැත පෙළුණේ
දාඩිය විකුණන හොර මැර නැති අප
අකල් මරණ ගැන නැත දන්නේ  //

කාලය දීපය දේශය දන්නා – මතු බුදු වන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු – හමුවුණ නැති වග නැත දන්නේ
තුවාල සුදු පිරුවටින් වසාගෙන – උඩුකුරුවී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයේ ගුණකඳ නොවේද
කියන්න දැන්වත් ඇදුරිඳුණේ ……. //

Leave a comment